drop down menu




hiru news

Wednesday, December 31, 2014

Windows 10 සමග එන අළුත්ම මයික්‍රොසොෆ්ට් බ්‍රවුසරය

ආයුබෝවන් 2015... මෙ මගේ අලුත් අවුරුද්දෙ පළමු පෝස්ටුව ............



යික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ඔවුන් සිතූ තරම් ජනප්‍රිය නොවූ බව ජනප්‍රිය කරුණකි.
ඔවුන් විසින් ඒ අසාර්ථකත්වය උදා කරගත්තේ පරශීලක කැමැත්තට වඩා සමාගමේ අභිප්‍රායයන් සිය නව මෙහෙයුම් පද්ධතියට පටවන්නට ගත් තීරණය නිසාවෙනි. දැන් පෙනෙන්නට තිබෙන්නේ ඒ හිතුවක්කාරකම් පැත්තකට කර, සිය පරණ මෝඩකම් මඟ ඇර ගනිමින් මයික්‍රොසොෆ්ට් සමාගම අලුත් පාරක යන්නට සූදානම් බවයි. මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කරන්නට නියමිත නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 10, මෙතෙක් බිහිවූ හොඳම මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය කරන්නට ඔවුන් අධිෂ්ඨාන කරගෙන ඇති බව පසුගිය මාස කිහිපයක සිටම අපට පෙනෙන කරුණු වලින් සනාථ වෙමින් පවතී. වින්ඩෝස් 8 හි සිට වින්ඩෝස් 9 ඉදිරිපත් කරනවා වෙනුවට, සම්පූර්ණ වෙනසක් පෙන්වීම සඳහා නව මෙහෙයුම් පද්ධතියේ නම පවා වින්ඩෝස් 10 ලෙස වෙනස් කිරීමම එයට නිදසුනක් පමණී. දැන් මේ  වින්ඩෝස් ‘යහගුණ‘ තවත් වැඩි කරලීම සඳහා මෙතෙක් කල් වින්ඩෝස් පද්ධතියේ අනිවාර්ය බ්‍රවුසර සගයා වූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙනුවට නවතම වෙබ් බ්‍රවුසරයක් වින්ඩෝස් 10 සමග හඳුන්වා දෙන්නට මයික්‍රොසොෆ්ට්  සමාගම සූදානම් බව අසන්නට ලැබේ.

මෙම නවතම මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් වෙබ් බ්‍රවුසරය 'Spartan' (ස්පාටන්) යන නමින් නම් කර තිබේ. වින්ඩෝස් අංශ ප්‍රධානී මේරි ජෝ ෆෝලි දැක්වූ අදහස් අනුව මේ ස්පාටන් යනු ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් හි නම වෙනස් කිරීමක් නම් නොවන බව පැහැදිලි වේ. දැනට පෙනී යන්නේ වින්ඩෝස් 10 සමග ස්පාටන් බ්‍රවුසරය හා IE හි 11 වැනි සංස්කරණයද ලබාදෙනු ඇති බවයි. එමගින් පැරණි IE පරිශීලකයන් හටද සාධාරණයක් ඉටුවනු ඇති අතර, ස්පාටන් බ්‍රවුසරය සඳහා නවතම පරිශීලක පිරිසක් ද ආකර්ශණය කර ගැනීමට නියමිතයි. ආරංචි මාර්ග වලට අනුව දැක්වෙන්නේ ස්පාටන් යනු ගූගල් ක්‍රෝම්, මොසිල්ලා ෆයර්ෆොක්ස් ආකාරයේම නවීන බ්‍රවුසරයක් වනු ඇති බවයි. IE සඳහා කැමැත්තක් නොදක්වන පරිශීලකයන් නවතම නාමයක් යටතේ, නවතම බ්‍රවුසර නිපැයුමක් ඔස්සේ නැවතත් මයික්‍රොසොෆ්ට් හි ග්‍රහණයට ගැනීම මෙහි අරමුණයි.



අපට වින්ඩෝස් 10 සමගින් නවතම බ්‍රවුසරයක අත්දැකීම ලැබීමට අමතරව මෙහි තවත් ආකර්ශණීය කාරණා කීපයක්ම ඇත. පසුගිය අගෝස්තුවේදී පමණ දැක්වුණු ආකාරයට, මයික්‍රොසොෆ්ට් හි සේවකයින් විසින්ම පෙන්වා දුන් පරිදි ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් යන නාමය වින්ඩෝස් වෙතින් ඉවත් කල යුතු බවට මයික්‍රොසොෆ්ට් හි පාලනාධිකාරය ද පිළිගෙන ඇති බවක් මේ පුවතින් අපට පෙනී යයි. වින්ඩෝස් 8 හා ලබාදුන් IE හි නවතම වැඩි දියුණූ කරන ලද සංස්කරණ ‘හොඳම‘ ඒවා බව පැවසුනු නමුත්, ඒ කෙරෙහි වැඩි පරිශීලක ආකර්ශණයක් ඇති වුනේ නම් නැත. මේ කරුණත් නවතම බ්‍රවුසරයක් වෙත යෑම සඳහා මයික්‍රොසොෆ්ට් සමාගමට හේතු සාධකයක් වන්නට ඇත.

ක්‍රෝම් හා ෆයර්ෆොක්ස් ඉලක්ක කොට ගනිමින් ස්පාටන් නිපදවීම මයික්‍රොසොෆ්ට් හි අභිප්‍රාය වී ඇති බව පෙනේ. එය ප්‍රබල හා ආකර්ශණීය බ්‍රවුසරයක් වනු ඇත. එමෙන්ම එය සැහැල්ලු, අඩු පද්ධති ධාරිතාවකින් ක්‍රියාත්මක වන බ්‍රවුසරයක් වනු ඇති අතර extensions  ස‍ඳහාද උපරිම සහයෝගයක් දක්වනු ඇත. කෙසේ වෙතත්, මයික්‍රොසොෆ්ට් හි මෙම නවතම බ්‍රවුසරය ලොව ප්‍රචලිත වෙබ් එන්ජින් ආකෘතිය වන වෙබ්කිට් (WebKit) එන්ජිම මත ගොඩ නැගෙනු ඇතැයි සිතන්නට නොහැකිය. ස්පාටන් බ්‍රවුසරය ද IE මෙන්ම ට්‍රයිඩෙන්ට් (Trident ) වෙබ් එන්ජින් ආකෘතිය මත ගොඩ නැගෙනු ඇති බව කියවේ. එසේම මයික්‍රොසොෆ්ට් හි චර්කා ජාවා ස්ක්‍රිප්ට් (Chakra JavaScript) තාක්ෂණයද ස්පාටන් හි භාවිතා වනු ඇත.

ස්පාටන් අලුත්ම අලුත් බ්‍රවුසරයක් වනු ඇති බව දන්නා නමුත් එය කෙබඳු එකක් දැයි පැවසීමට තරම් ප්‍රමාණවත් තොරතුරු තවමත් ලැබී නොමැත. කෙසේ වුවත් වින්ඩෝස් පරිශීලකයින්ට අප්‍රිය වූ IE වෙනුවට වෙනත් බ්‍රවුසරයක් වෙත යෑම නම් හොඳ පියවරක් ලෙස අපට පෙනේ. අවසානයේදී වින්ඩෝස් 10 පරිශීලයන්ට නම් ස්පාටන් සමගින් වඩාත් හොඳ අන්තර්ජාල අත්දැකීමක් ලබා ගන්නට හැකියාව ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු...

                  එහෙනම් හැමෝටම 2015 සුභ නව වසරක් වේවා ...!!!

No comments:

Post a Comment